ඔබ මෙතනයි:  මුල් පිටුව ඉ - නීති හා ප්‍රතිපත්ති

ඉ - නීති හා ප්‍රතිපත්ති

ඉ-නීති

ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත

රාජ්‍ය  පාලනයේදී තො.ස.තා. භාවිතය සඳහා සහ ඉ-රාජ්‍ය සේවා ස්ථාපිත කිරීම පිණිස  වඩාත්ම අදාල වන්නා වූ නීතිකරණය වන්නේ 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතයි. අග්‍රාමාත්‍යතුමා, වෙළඳ මහ වාණිජ අමාත්‍යතුමා සහ විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යතුමා විසින් ඒකාබද්ධව ඉදිරිපත් කරනු ලැබූ අමාත්‍ය මණ්ඩල සංදේශයක් තුලින් ඉලෙක්ට්‍රොනික ගනුදෙනු නීති කෙටුම්පත් කිරීම  සදහා ප්‍රවේශය ලබා දෙන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තව, තො.ස.තා.නි. හා එක්ව ඉලෙක්ටොනික ගනුදෙනු පිළිබඳ නීති සම්පාදනය කළ යුතු බව 2004 සැප්තැම්බර් 22 වන දින අමාත්‍ය මණ්ඩලය තීරණය කරන ලදී. ඒ අනුව තො.ස.තා. නි‍යෝජිතායතනයේ නෛතික සහ ප්‍රතිපත්ති ආදාන සහිතව නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව අදාළ නීති පිළියෙල කර 2006 මාර්තු 7 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත 2007 ඔක්තෝබර් 1 වනදා සිට බලාත්මක විය. (2007 සැප්තැම්බර් 27 දින අංක 1516/25 දරන අති විශේෂ ගැසට් නිවේදනය බලන්න)

2006 අංක 19 දරන ඉ‍ලෙක්ට්‍රොනික ගනුදෙනු පනත ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම මගින් ස්ථාපිත ප්‍රමිති ඉලෙක්ට්‍රොනික වාණිජ්‍යය පිළිබඳ ආදර්ශ නීතිය (1996) සහ ඉලෙක්ට්‍රොනික අත්සන් පිළිබඳ ආදර්ශ නීතිය මත පාදක වී ඇත.

පනතේ අරමුණු පහත දැක්වෙන පරිදි වේ.

  • නෛතික අවහිරතා තුරන් කිරීම සහ නෛතික නිශ්චිතතාව තහවුරු කිරීම මගින්  දේශීය හා ජාත්‍යන්තර ඉලෙක්ට්‍රොනික වාණිජ කටයුතු සඳහා පහසුකම් සැලසීම
  • විශ්වසනීය ඉලෙක්ට්‍රොනික වාණිජ ක්‍රියාමාර්ග භාවිතයට ගැනීම දිරිමත් කිරීම
  • ආණ්ඩුව වෙත ලේඛන ඉලෙක්ට්‍රොනිකව ගොනු කිරීම සඳහා පහසුකම් සැලසීම සහ විශ්වසනීය ඉලෙක්ට්‍රොනික සන්නිවේදන ක්‍රම මගින් ආණ්ඩුවේ සේවා කාර්යක්ෂමව සැපයීම ප්‍රවර්ධනය කිරීම සහ
  • දත්ත පණිවුඩ, ඉලෙක්ට්‍රොනික ලේඛන, ඉලෙක්ට්‍රොනික වාර්තාව හා වෙනත් සන්නිවේදනවල සත්‍යවත්භාවය, අවංකභාවය හා විශ්වාසනීයත්වය කෙරෙහි මහජන විශ්වාසය ප්‍රවර්ධනය කිරීම

ඉලෙක්ට්‍රොනික සන්නිවේදනය නිල වශයෙන් සහ නෛතිකව පිළිගත් නිසි සන්නිවේදන ක්‍රමවේදයක් බව මෙමගින් සහතික කර තිබේ. මෙම පනත මත පදනම්ව ඉලෙක්ට්‍රොනික ආකාරයෙන් සේවා සැපයීමට මෙන්ම ඉලෙක්ට්‍රොනික ස්වරූපයෙන් දත්ත සහ තොරතුරු රඳවා ගැනීම සඳහා රජයේ ආයතනයන්ට දැන් පියවර ගත හැක.

ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත ක්‍රියාවට නැංවීමට පසු ක්‍රියාමාර්ගයක් ලෙස, ජාත්‍යන්තර ගිවිසුම්වලදී (ඉ-ගිවිසුම්කරණ ප්‍රඥප්තිය ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන) ඉලෙක්ට්‍රොනික සන්නිවේදනය භාවිතය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අත්සන් තැබූ ආසියානු කලාපයේ පළමු රටවල් තුන අතුරින් එකක් බවට (දකුණු ආසියාවේ පළමු රට) ශ්‍රී ලංකාව  පත් විය.‍ මෙය විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය විසින් මුලපුරන ලද කැබිනට් අමාත්‍ය මණ්ඩල තීරණයක ප්‍රතිඵලයකි.


ජාත්‍යන්තර ගිවිසුම්වලට අදාලව ඉලෙක්ට්‍රොනික සන්නිවේදනය භාවිතයේදී නෛතික නිශ්චිතතාව සහ වාණිජ භාවීකථනීය කළ හැකි බව ඉහළ නැංවීමට සම්මුතිය අරමුණු කරයි. ඉලෙක්ට්‍රොනික පරිසරයක පාර්ශවයක නිවේශනය නිර්ණය කිරීම, ඉලෙක්ට්‍රොනික සන්නිවේදන යැවීමේ සහ ලැබීමේ වේලාව සහ ස්ථානය, ගිවිසුම් සැකසීම සඳහා ස්වයංක්‍රීය කරන ලද පණිවුඩ පද්ධති භාවිතය සහ ‘මුල්’ මුද්‍රිත ලේඛන මෙන්ම ඉලෙක්ට්‍රොනික සත්‍යාපනය කිරීමේ ක්‍රමය සහ අතින් තබන ලද අත්සන් අතර ඇතුළුව ඉලෙක්ට්‍රොනික සන්නිවේදන සහ මුද්‍රිත ලේඛන අතර කාර්ය බද්ධ සමතාව ස්ථාපිත කිරීම සඳහා යොදා ගනු ලැබීමට නියමිත නිර්ණායක පිළිබඳව එය කටයුතු කරයි.

තවදුරටත් අවශ්‍ය පසුවිපරම් ක්‍රියාමාර්ගයක් ලෙස, සත්‍යවත්භාවය සහ ප්‍රතික්ෂේප නොකිරීම සහතික කිරීම පිණිස ශ්‍රී ලංකා රජයේ ආයතන සහ පුරවැසියන් සඳහා අංඛිත අත්සන් නිකුත් කිරීම සඳහා සහතික කිරීමේ ජාතික මට්ටමේ අධිකාරියක් ස්ථාපිත කිරීමේ ක්‍රියාදාමයක තො.ස.තා‍.නි. යෙදී සිටී.

කෙසේ වුවද ලංකා රාජ්‍ය ජාලය මගින් රාජ්‍ය අංශය සඳහා භාවිතය ගැනීම පිණිස අංඛිත සහතික නිකුත් කිරීමේ හැකියාව ඇති ලංකා රාජ්‍ය ජාල සහතික කිරීමේ අධිකාරිය (LGN Certification Authority)  පිහිටුවා ඇත.  එමගින් ලබා දෙන අංඛිත සහතික දැනටමත් නොයෙකුත් තොරතුරු ආරක්‍ෂණ අවශ්‍යතා සඳහා යොදා ගැනේ. 

පරිගණක අපරාධ

2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත පරිගණක අපරාධ හඳුනාගැනීම පිණිස සහ එවැනි අපරාධ විමර්ශනය කිරීම සහ වැලැක්වීම සඳහා නෛතික ක්‍රියාමාර්ගයන් සැලසීම පිණිස විධිවිධාන සපයයි. 2005 අගෝස්තු 23 වන දින පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාද කරනු ලැබූ අතර ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ ‘බී’ ස්ථාවර කාරක සභාවේදී පුළුල් ලෙස ප්‍රතිශෝධනය කරන ලදී. 2007 මැයි මාසයේදී එය නීතියක් ලෙස පැනවූ අතර 2007 ජුලි 9 දින කථානායකතුමා විසින් සහතික කරන ලදී.

2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ පදනම වනුයේ පරිගණකයක්, පරිගණක වැඩසටහනක්, දත්ත හෝ තොරතුරු වෙත නිත්‍යානුකූල නොවන අන්දමින් ප්‍රවේශ වීම අපරාධයක් ලෙස හඳුනා ගැනීමයි. එසේම පරිගණයක් වෙත ප්‍රවේශ වීමට වරදරකරුට අධිකාරි බලයක් තිබුණේද යන්න නොතකමින් නිත්‍යානුකූල නොවන අයුරින් පරිගණක භාවිතය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වූ විධිවිධානයක්ද එහි ඇතුලත් වේ.

අධිකාරි බලයක් නොමැතිව අනවසරයෙන් දත්ත වෙනස් කිරීම, වෙනස් කිරීම හෝ මකා දැමීම මෙම පනත අනුව වරදක් වන අතර අධිකාරි බලයක් සහිත පුද්ගලයෙකුට ප්‍රවේශය අත්කර ගැනීම වැළැක්වීම පිණිස පරිගණකයේ වඩ සටහන් සකස් කිරී‍මද වරදකි. පරිගණක වෛරස් වැඩසටහන්වල නිශ්චිත කාර්ය වෙනස් කිරීම සඳහා කේත ඇතුලත් කිරීම මගින් පරිගණකයට හානි හෝ අලාභ කිරීම, තොරතුරු අනවසරයෙන් පිටපත් කිරීම, පරිගණක සේවා අධිකාරී බලයක් නොමැතිව භාවිතා කිරීම සහ එක් පරිගණකයක සිට පරිගණකයකට පරිගණක වැඩ සටහන්, දත්ත හෝ තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේදී ඒවා අත් කර ගැනීමද මෙම පනත යටතේ අපරාධ වේ.

වැරදි වි‍මර්ශනය සඳහා පනත නව ක්‍රමවේදයක් හඳුන්වා දෙයි. පරිගණක අපරාධ වැරදි විමර්ශනය කිරීමේදී පොලිසියට සහාය වීමට විශේෂඥ මණ්ඩලය පත් කිරීමට පනතේ විධිවිධාන සලස්වා ඇත.

දත්ත ආරක්ෂා කිරීම

පුද්ගලික දත්ත, විශේෂයෙන්ම අන්තර්ජාලය ඔස්සේ හසුරුවන්නා වූ දත්ත, බොහෝ සමාගම්වල වැදගත් වත්කමක් බවට පත්ව ඇති තොරතුරු යුගයක, දත්ත ආරක්ෂා කිරීමේ නීති අතිශයින්ම වැදගත් නීති තන්ත්‍රයක් බවට  පත්ව තිබේ. එතුකුදු වුවත්, එකිනෙකා හා බැඳී ඇති  ගෝලීය ආර්ථිකයක, ජාතික දත්ත ආරක්ෂකා කිරීමේ නීති පහසුවෙන් මග හැරිය හැකි අතර එක් අධිකරණ බලසීමාවකින් පිටතට දත්ත මාරු කිරීමේදී පුරවැසියන්ට ප්‍රදානය කර ඇති ආරක්ෂාවන් අහිමි වේ. එබඳු මගහැරීම් වැළැක්වීමේ ප්‍රයත්නයක් ලෙස, ශ්‍රී ලංකාව බඳු යුරෝපීය සංගමයට අයත් නොවන රටවලට පුද්ගලික දත්ත මාරු කිරීම පාලනය කරවමින් යුරෝපා සංගම් දත්ත ආරක්ෂණ තන්ත්‍රය විධිවිධාන අන්තර්ගත කර තිබේ.

වර්තමානයේ, පුද්ගලික අංශයද ඇතුලත් කරගනිමින් දත්ත ආරක්ෂණ භාවිත සංග්‍රහයක් මත පදනම් වූ ප්‍රතිපත්තියක් රජය පවත්වාගෙන යන අතර 2003 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනත යටතේ පනවන ලද රෙගුලාසි හරහා ව්‍යවස්ථාපිත පදනමක් ඒ සඳහා ඇති කිරීමේ හැකියාව ද පවතී. එබැවින්, මෙම ප්‍රවේශය ස්වයං හෝ සම-නියාමන ප්‍රවේශයක් ලෙස දැකිය හැක.

බුද්ධිමය දේපල අයිතිවාසිකම්

බුද්ධිමය දේපල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ගත් කළ, 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත මගින් 1979 අංක 52 දරන බුද්ධිමය දේපල සංග්‍රහ පනත ප්‍රතිස්ථාපනය කරන ලදි. 2003 බු.දේ. පනතෙහි මෘදුකාංග, වෙළඳ රහස් සහ අනුකලිත පරිපථ ආරක්ෂාවට අදාල නව වගන්ත කිහිපයක් ඇතුළත් වේ.

පහත පනත් ශ්‍රී ලංකා රජයේ ඉලෙක්ට්‍රොනික නීතිවලට අදාල වේ.

2003 අංක 27 දරන තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පනත

2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත (ප්‍රකාශන හිමිකම්වලට අදාළ කොටස්)

2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික  ගනුදෙනු පනත

2007 අංක 24 දරන පරිගණක අපරාධ  පනත

2005 අංක 28 දරණ ගෙවීම් සහ පියවීම් පද්ධති පනත

2006 අංක 30 දරණ ගෙවීම් උපක්‍රම වංචා පනත

තො.ස.තා. නියෝජිතායතන වෙබ් අඩවියේ ඉලෙක්ට්‍රොනික නීති ව්‍යාපෘති පිටුව බලන්න

අවසන් යාවත්කාලීන කිරීම 2013 අගෝස්තු 06 වෙනි අඟහරුවාදා, 03:31
 
ප්‍රතිපත්ති

ඉ-රාජ්‍ය හැදින්වීම

සවිස්තරාත්මක ඉ-රාජ්‍ය ප්‍රතිපත්ති ආරක්ෂණ පිරික්සුම් ලැයිස්තුව

ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ චක්‍රලේඛය

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය පිළිබඳ ඉ-රාජ්‍ය ප්‍රතිපත්ති සහ කාර්යය

සංක්ෂිප්ත තොරතුරු ආරක්ෂණ ප්‍රතිපත්තිය

සවිස්තරාත්මක තොරතුරු ආරක්ෂණ ප්‍රතිපත්තිය

වැඩිදුර ඉ-නීති හා ප්‍රතිපත්ති තොරතුරු සඳහා ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ඉ - නීති හා ප්‍රතිපත්ති වැඩසටහන පිටුව බලන්න

අවසන් යාවත්කාලීන කිරීම 2013 ජූනි 24 වෙනි සදුදා, 07:54
 

 
Submit to FacebookSubmit to Google BookmarksSubmit to TwitterSubmit to LinkedIn