ඔබ මෙතනයි:  මුල් පිටුව ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව ගැන

ශ්‍රී ලංකාවේ දළ විශ්ලේෂණය

මූලික තොරතුරු

 

රටේ නම : සම්මත දිග නම : ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
සම්මත කෙටි නම : ශ්‍රී ලංකාව
කලින් නම : ලංකාව
විශාලත්වය : වර්ග ප්‍රමාණය : වර්ග කි.මී. 65,610
දිග : 445 කි.මී.
පළල : 225 කි.මී.
අගනුවර : ශ්‍රී  ජයවර්ධනපුරය‍
වාණිජ අගනුවර : කොළඹ
රජය : ශ්‍රී ලංකාව වූ කලී (2011 ඇස්තමේන්තුවට අනුව) මිලියන 20.3ක ජනගහනයක් සහිත, ස්වාධීන සහ ස්වෛරී ජාතියකි. අනුපාතික නියෝජන පදනම මත සර්වජන ඡන්ද බලයෙන් තෝරා පත් කර ගනු ලබන පාර්ලිමේන්තුවක් විසින් ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරනු ලැබේ. මහජනයා විසින් ම තෝරා පත් කර ගනු ලබන ජනාධිපතිවරයෙක් රාජ්‍යාරක්ෂාව ඇතුළු විධායක බලය ක්‍රියාත්මක කරයි. බහු පාක්ෂික ක්‍රමයක් පවතින ශ්‍රී ලංකා‍වේ ජනතාව හැම අවුරුදු හයකට වරක් නව රජයක් තෝරා පත් කර ගැනීමට ඡන්දය දෙයි
ජනගහණය : මිලියන 20.3 කි.
ජනගහණ ඝනත්වය : වර්ග කිලෝමීටරයකට 296 දෙනෙකි.
උපතේදී පරමායුෂ : කාන්තා පක්ෂය 76.4. පුරුෂ පක්ෂය: 71.7 (2001 ඇස්තමේන්තුව අනුව)
සාක්ෂරතා අනුපාතිකය : සියයට 92.5 (2003 ඇස්තමේන්තුව)
භාෂා : සිංහල සහ දෙමළ භාෂා ශ්‍රී ලංකාව පුරා පුළුල් ලෙස කතා කෙරේ.
ජනවාර්ගික සම්මිශ්‍රණය : සිංහල 74% යි. දෙමළ 18% යි. මුස්ලිම් 7% යි. බර්ගර් (ඕලන්ද සහ පෘතුගීසි ජනයාගෙන් පැවතෙන අය) සහ වෙනත් අය 1% යි.
ආගම : බුද්ධාගම 70% යි. හින්දු 16% යි. ක්‍රිස්තියානි 7% යි. ඉස්ලාම් 7% යි.
දේශගුණය : පහත් බිම් ප්‍රදේශ - ඝර්ම කලාපීය වේ. සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 යි. මධ්‍යම කඳුකරය - අධික ලෙස ශීතලය. උෂ්ණත්වය සෙල්සියස් අංශක 14 දක්වා පහත වැටේ. නිරිත දිග මෝසම් වැසි මැයි සිට ජූලි දක්වා බටහිර දිග, දකුණු දිග සහ මධ්‍ය ප්‍රාන්තවලට ලැබේ. ඊශානදිග මෝසම් වැසි දෙසැම්බර් සහ ජනවාරි මාසවල උතුරු සහ නැගෙනහිර කොටස්වලට ලැබේ. සංචාරකයන් සඳහා රමණීය දේශගුණයක් අවුරුද්ද පුරා පැවතීම ශ්‍රී ලංකාවේ විශේෂ ලක්ෂණයකි.
වාර්ෂික ප්‍රතිශීර්ෂ ආදායම : එ.ජ. ඩොලර් 1197 (2005 ඇස්තමේන්තුව)
කර්මාන්ත : රබර්, තේ, පොල් සහ වෙනත් කෘෂිකාර්මික වෙළඳ ද්‍රව්‍ය පිරිසැකසුම, ඇඟලුම්, සිමෙන්ති, ඛනිජ තෙල් පිරිපහදුව, රෙදිපිළි, දුම්කොළ
කෘෂිකාර්මික නිෂ්පාදන : සහල්, උක්, ධාන්‍ය වර්ග, මාෂ බෝග, තෙල් ලබාගන්නා ඇට වර්ග, අලවර්ග, කුළු බඩු, තේ, රබර්, පොල්, කිරි, බිත්තර, සම්, මස්
වලංගු මුදල් : දශම මුදල් ක්‍රමය භාවිත කරන ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු රුපියල් 2, 10, 20, 50, 100, 200, 500, 1000 සහ 2000 ප්‍රමාණ වලින් භාවිත වේ. ශත 1, 2, 5, 10, 25 සහ 50 ද රුපියල් 1, 2, 5 සහ 10 යන ප්‍රමාණවල කාසි ද තිබේ. ජාත්‍යන්තර වශයෙන් මුදල් ප්‍රමාණනය කිරීමේදී අමෙරිකානු ඩොලරය පදනම වශයෙන් ගැනේ.
වීසා බලපත්‍ර : ඔබ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන්, කොන්සියුලේට් කාර්යාලයෙන්, සංචාරක කාර්යාලයෙන් හෝ ඔබගේ සංචාරක නියෝජිතයාගෙන් විමසන්න.
වැඩ කරන සතිය : ශ්‍රී ලංකා තුළ ක්‍රියාත්මක වන්නේ සඳුදා සිට සිකුරාදා දක්වා වන දින පහේ සතිය යි.
කාර්යාල වේලාව : රජයේ කාර්යාල සඳුදා සිට සිකුරාදා දක්වා දිනවල පෙ.ව. 8:30 සිට ප.ව. 4:15 දක්වා විවෘතව පවතී.
බැංකු
: සඳුදා සිට සෙනසුරාදා පෙ.ව. 9:00 සිට ප.ව. 1:00 හෝ ප.ව. 3:00 දක්වා විවෘතව පවතී.
තැපැල් කාර්යාල
: සඳුදා සිට සිකුරාදා දක්වා දිනවල පෙ.ව. 8:30 සිට ප.ව. 5:00 දක්වා ද සෙනසුරාදා දිනවල පෙ.ව. 8:30 සිට ප.ව. 1:00 දක්වා විවෘතව පවතී. ප්‍රධාන  තැපැල් හුවමාරු ස්ථානය කොළම 10, ඩී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටා ඇත. පැය 24ම විවෘත ය. (දූරකථනය 2326203)
පිහිටීම
: ඉන්දියන් සාගරය තුළ සමකයේ සිට කි.මී. 880කට උතුරින් ඉන්දියාවේ ගිනිකොන වෙරළට ඈතින් පිහිටි දූපතකි. ඉන්දියන් සාගරයේ දූපතක් වන ශ්‍රී ලංකාව ඉන්දියා උප මහද්වීපයට දකුණින් පිහිටියේ ය. එය සමකයට උතුරින් 5° 55' සහ 9° 55' අතර ද නැගෙනහිර දේශාංශ 79° 42' සහ 81° 52' අතර ද පිහිටා ඇත.
විශේෂ ලක්ෂණ : අලංකාර ඝර්මකලාපීය මුහුද වෙරළවලින් ද දැකුම්කලු වෘක්ෂලතාවලින් ද පෞරාණික ස්මාරකවලින් ද සියල්ලන්ගේ රුචිකත්වවලට සරිලන අපරිමිත සොඳුරු දසුන් වලින් ද අනූනය. දිවයිනේ භූ විෂමතා ලක්ෂණ, මධ්‍ය  ප්‍රදේශයේ සිට තරමක් දකුණු දෙසට, මීටර් 2500 ඉක්මවන උසකින් යුත් කඳුරාශියකින් ද ඒ වටා ඇති තැනිතලාවලින් ද සමන්විත වේ. පොල් ගස්වලින් ගහණ වෙරළ තීරය දිවයින වටාම විද්‍යාමාන වන අතර මුහුදු උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 න් පහළට වැටෙන්නේ කලාතුරකිනි.
අවසන් යාවත්කාලීන කිරීම 2013 ජූනි 24 වෙනි සදුදා, 07:54
 

ඉතිහාසය

නව ශිලා යුගයේ දී ද ශ්‍රී ලංකාවේ ආහාර රැස්කරන්නන් සහ වී ගොවීන් සිටි බවට සාක්ෂි මෑතක දී කරන ලද කැණීම්වලින් හෙළි දරවු වී තිබේ. මේ අවධිය පිළිබඳ දන්නා කරුණු ඉතා අල්ප ය. අපේ ලිඛිත ඉතිහාසහ ඇරඹෙන්නේ උතුරු ඉන්දියාවෙන් ආර්යයන්ගේ පැමිණීමත් සමග ය. ආර්යයෝ යකඩ භාවිතය සහ දියුණු කෘෂිකර්ම සහ වාරිමාර්ග ක්‍රම හඳුන්වා දුන්හ. ඔවුහු ආණ්ඩු කිරීමේ කලාවද හඳුන්වා දුන්හ. ආර්ය ජනාවාස අතුරින් අනුරාධපුරය පණ්ඩුකාභය රජුගේ පාලනය යටතේ බලවත් රාජධානියක් බවට පත් විය. සාම්ප්‍රදායික ඉතිහාසයට අනුව අනුරාධපුරයේ නිර්මාතෘවරයා වශයෙන් පිළිගැනෙන්නේ ඔහු ය.

පණ්ඩුකාභයගෙන් පැවතෙන්නකු වන දේවානම්පියතිස්ස රජුගේ පාලන සමය තුළ ක්‍රි.පූ. 247 දී මෙරටට බුදුදහම හඳුන්වා දෙන ලද්දේ ඉන්දියාවේ අශෝක අධිරාජයාගේ පුත් මිහිදු මහ රහතන් වහන්සේ විසිනි. බුදුදහම මෙරට සංස්කෘතික ශ්‍රේෂ්ඨත්යට මං පෑදූ බැවින් මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ අති වැදගත් සිද්ධියකි. මෙබඳු නව ශිෂ්ටාචාරයක් මල් පල දැරීමක් සමග ශ්‍රී ලංකාව සරුසාර වූ ද සමෘද්ධිමත් වූ ද රටක් බවට පත්විය.

ක්‍රි.පූ 2වන සියවස මැද භාගයේදී ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ විශාල කොටසක් දකුණු ඉන්දියානු ආක්‍රමණිකයකුගේ අණසකට පත්විය. ක්‍රිස්තු යුගය ආරම්භයේ සිට ක්‍රි.ව. 4වන සියවස දක්වා ශ්‍රී ලංකාව පාලනය කරන ලද්දේ වාරිමාර්ග සංවර්ධනය කෙරෙහි සුවිශාල අවධානයක් දැක්වූ අඛණ්ඩව පැවත ආවා වූ ද ලම්බකර්ණ පරපුර විසිනි. මේ පරපුරේ ශ්‍රේෂ්ඨ නරපතියකු වූ (ක්‍රි.ව. 3 වන සියවසේ) මහසෙන් රජු සුවිශාල වැව් හෙවත් වාරිමාර්ගික ජලාශ ඉදි කිරීම ආරම්භ කළේය. වැව් ඉදිකළ තවත් ශ්‍රේෂ්ඨ රජෙක් වූයේ ධාතුසේන රජු ය. මේ රජු මරා දැමූ ඔහුගේ පුත් කාශ්‍යප සීගිරිය තම රාජකීය පුරවරය බවට පත් කරගෙන සීගිරිය පර්වත මස්තකය තම බලකොටුව අගනුවර කර ගත්තේය.

දකුණු ඉන්දියානු ආක්‍රමණවල ප්‍රතිඵලයක් වශයෙන් අනුරාධපුර රාජධානිය ක්‍රි.ව. 10වන සියවස අගදී බිඳ වැටුණේය. 1වන විජයබාහු රජු ආක්‍රමණිකයන් පලවා හැර ක්‍රිස්තු වර්ෂ 11වන සියවසේ දී පොළොන්නරුව සිය අගනුවර කර ගත්තේය. පොළොන්නරුවේ රජ කළ අනෙකුත් ශ්‍රේෂ්ඨ රජවරුන් අතර මහා පරාක්‍රමබාහු සහ නිශ්ශංකමල්ල රජවරු සිටි අතර ඔවුහු ගෘහනිර්මාණ ශිල්පීය අගයෙන් යුත් ගොඩනැගිලි රැසක් නිර්මාණය කොට නගරය අලංකාර කළහ.

සතුරු ආක්‍රමණ වරින්වර හටගත් බැවින් අගනුවර තැනිත් තැනට මාරු කරන ලදුව 1505 දී පෘතුගීසීන් ආක්‍රමණය කරන විට බටහිර දිග තැනිතලා ප්‍රදේශයට අයත් කෝට්ටේ ප්‍රධාන නගරය බවට පත්ව තිබිණි. පෘතුගීසීන් පැමි‍ණියේ කුළුබඩු වෙළඳාමට ය. එහෙත් මුහුදුබඩ ප්‍රදේශ පාලනයෙහි ඔවුන් 1656 වන තෙක් නියැලී සිට අතර ඉන්පසු ඊට ආක්‍රමණය කළ ඕලන්ද ජාතිකයෝ ඒ දෙයම කළහ. ඕලන්ද පාලනය 1656 සිට 1796 දක්වා පැවතිණි. 1796 දී ඔවුන් පලවා හැර බ්‍රිතාන්‍ය ජාතිකයෝ පාලනය සිය අතට ගත්හ. මේ අවධියේ කඳුකරයේ රාජධානිය මහනුවර අගනුවර වශයෙන් තබා ගෙත රටේ ඉතිරි ප්‍රදේශ පාලනය කළ විදේශීය බලවතුන් පුන පුනා පහර දෙද්දී තම නිදහස රැකගෙන සිටියේය. 1815 දී මහනුවර රාජධානිය බ්‍රිතාන්‍ය ජාතිකයන් යටතට පත් වූයෙන් ඔවුහු මුළු දිවයිනේම පාලනය තහවුරු කර ගත්හ. නූතන සන්නිවේදන ක්‍රම, බටහිර වෛද්‍ය සේවා, ඉංග්‍රීසි අධ්‍යාපනය මෙන් ම වැවිලි කර්මාන්තය ද (පළමුව කෝපි, ඉන්පසු තේ අනතුරුව රබර් සහ පොල්) යන මේවා බ්‍රිතාන්‍ය පාලන සමය තුළ වර්ධනයට පත් විය. සාමකාමී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල පරිණාමයකින් පසු ශ්‍රී ලංකාව තම නිදහස 1948 දී යළි ලබා ගත්තේය. දැන් ස්වෛරී ජනරජයක් වන ශ්‍රී ලංකාව පොදු රාජ‍්‍ය මණ්ඩලයේත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් සාමාජිකත්වය දරන රටකි.

අවසන් යාවත්කාලීන කිරීම 2013 ජූනි 24 වෙනි සදුදා, 07:54
 

ආර්ථිකය

ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික රටකි. ප්‍රධාන බෝගය වන සහල්වලින් රට ස්වයංපෝෂිත ය. තේ, රබර් සහ පොල් ද වැදගත් කෘෂිකාර්මික බෝග වන අතර එයින් තේ වූ කලී විදේශ විනිමය උපයා දෙන ප්‍රමුඛ බෝගය වේ. මීට අමතරව අනෙකුත් වැදගත් බෝග වන කොකෝවා සහ කුරුඳු, කරදමුංගු, සාදික්කා, ගම්මිරිස් සහ කරාබුනැටි යන මේ කුළු බඩු වේ. නිවර්තන සහ මධ්‍යස්ථ දේශගුණික කලාපවලට ආවේණික වූ පලතුරු සහ එළවළු ශ්‍රී ලංකාවේ ද මැනවින් වැවේ. ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු විදේශ විනිමය ප්‍රමාණය ඉතා විශාලය.


පසුගිය දශක තුන තුළ සංචාරක කර්මාන්තය ද වැදගත් කර්මාන්තයක් වශයෙන් ඉස්මතුවිය. නිෂ්පාදන කර්මාන්තවල ද වේගවත් දියුණුවක් සිදු වූ අතර ඒවා ඔස්සේ ඛනිජ නිෂ්පාදන, සම්භාණ්ඩ, නිමි ඇඳුම් සහ විද්‍යුත් උපකරණ ආදී වශයෙන් පුළුල් පරාසයකට අයත් අපනයන භාණ්ඩ ඉදිරිපත් කෙරිනි.

Abroad: එතෙර, පිටරට, ගෙදරින් පිට, නන් දෙස, පුළුල් පෙදෙසක
අවසන් යාවත්කාලීන කිරීම 2013 ජූනි 24 වෙනි සදුදා, 07:54
 

ජනවිකසනය

ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියන 18.5 කි. එයින් බහුතරය  සිංහල (74%) වේ.අනෙක් ජනවර්ග සමන්විත වනුයේ ශ්‍රී ලංකා දෙමළ (12.6%), ඉන්දියානු දෙමළ (5.55%), යෝනකවරුන් මැලේ ජාතිකයන් (පෘතුගීසි සහ ඕලන්ද ජාතිකයන්ගෙන් පැවතෙන) බර්ගර් (7.9%) යන ජාතිකයන්ගෙනි.

ශ්‍රී ලංකාව බහු ආගමික රටක් වුවද බහුතරය බෞද්ධයන්ගෙන් (69.3%) යුක්ත වේ. සෙසු ආගමික කණ්ඩායම් වනුයේ හින්දු (15.5%), මුස්ලිම් (7.6%) සහ ක්‍රිස්තියානි (7.5%) යන අයයි. 88.6% ක් වන ශ්‍රී ලංකාවේ සාක්ෂරතා අනුපාතිකය ආසියාවේ උසස්ම අනුපාතිකයකි.

අවසන් යාවත්කාලීන කිරීම 2013 ජූනි 24 වෙනි සදුදා, 07:54
 

භාෂාව සහ ආගම

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා වේ. ඉන්දු ආර්ය සම්භවයක් සහිත සිංහල භාෂාව බහුතරය භාවිතා කරන භාෂාවයි. ඉංග්‍රීසි භාෂා බෙහෙවින් කථා කෙරෙන අතර බොහෝ දෙනකුට අවබෝධ කර ගත හැකි ය.

ස්ථාන නාම සහ බස්රියවල ද දුම්රියවල ද සංඥා පුවරු සාමාන්‍යයෙන් භාෂා තුනෙන්ම දක්නට ඇත. ශ්‍රී ලංකාව වූ කලී ආගමික නිදහස පවතින ප්‍රතිවිරුද්ධ ඇදහිලි නිදහසේ බුක්තිවිඳින රටකි. කවර ප්‍රදේශයකට ගිය ද ඒ ඒ ආගමට සුවිශේෂ ව ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ වලින් යුක්ත බෞද්ධ වෙහෙර විහාරයක්, හින්දු කෝවිලක් , ක්‍රිස්තියානි දේවස්ථානයක්, මුස්ලිම් පල්ලියක් දැක ගත හැකි ය. ආගමික සිද්ධස්ථාන වලට ඇතුළු වන විට ඒවාට අගෞරවයක් සිදු නොවන පරිදි ඇඳුම් පැළඳුම් පිළිබඳ අදාළ නියමයන්ට අනුකූල වීම වේ.

ලෝක උරුමයට ශ්‍රී ලංකාවේ දායකත්වය : බුද්ධ ධර්මය: විමුක්තිය කරා යොමු වූ බුදු මග

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආගම බුද්ධාගම යි. එය රටට නිලවශයෙන් ඉදිරිපත් වී ඇත්තේ ක්‍රිස්තුපූර්ව තුන්වන සියවසේ දේවානම්පියතිස්ස රාජ සමයේදීය. එය මෙරටට ගෙන එන ලද්දේ ඉන්දියාවේ අශෝක මහාධිරාජයාණන්ගේ පුත් මිහිදු මහ රහතන්වහන්සේ විසිනි. එය මෙරටට ගෙන ආ සැණෙකින් එම නව දහම රටවැසියන් කඩිනමින් වැළඳ ගත් හෙයින් මාස කීපයක් තුළදී මුළු රටම බෞද්ධ වූහ. ශ්‍රී ලංකාව බුදු දහමේ පෝෂණයට සරුසාර තෝතැන්නක් වී ඇත.

බුදු දහම වූ කලී ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ දී භාරතීය රාජ කුමාරයකු වශයෙන් උපත ලත් පසුව බුදු බවට පත් සිද්ධාර්ථ ගෞතම බුදු පියාණන් විසින් මනුෂ්‍ය වර්ගයාට දේශනා කරන ලද ‍මනෝවිද්‍යාත්මක සහ දාර්ශනික ධර්මතාවලින් සමන්විත ප්‍රායෝගික ජීවන මාර්ගයකි. එතුමා මධ්‍යම භාරතයේ කපිල වස්තු රාජධානියේ ප්‍රදේශීය පාලකයකු වූ සුද්ධෝදනගේ පුතා වශයෙන් ක්‍රි.පූ. 623 වර්ෂයේ මැයි මස පුර පසළොස්වක දා උපත ලැබූවේ ය. එතුමාණන්ගේ ධර්මය අද ලෝක ජනගහණයෙන් හතරෙන් පංගුවකට ආසන්න ප්‍රණයකට ආභාසය සහ මාර්ගෝපදේශ ලබා දෙන ලෝක ආගමක් බවට පත් ව ඇත.

සිදුහත් කුමරා ගිහි ජීවිතය අවුරුදු විසි නවයක් ගත කළේය. එහි අවසාන අවුරුදු දහතුන යශෝධරා දේවිය සමග ගත කළ විවාහ ජීවිතයට ඇතුළත් විය. සියලු යස ඉසුරින් පිරි රාජ කුමාරයකු වශයෙන් උපන්ගේ සුඛිත මුදිත ජීවිතයක් ගත කළේය. එසේ වුව ද බාලකාලයේම සිට මිනිස් දිවියේ ගැටලු පිළිබඳ ඔහු චිත්තාපරවශ විය. එහෙයින් හේ ස්වකීය රාජ සම්පත් මධ්‍යයේ තෘප්තිමත් නොවීය. එබඳු සන්තෝෂජනක ජීවිතයකට හේ ඇලුම් නොකළේය. සැප සම්පත් අස්ථිර සහ තාවකාලික යයි සැලකූ ඔහුගේ අවසාන විශ්ලේෂණය වූයේ ජීවිතය දුකක් බවයි.  බොහෝ අය සතුට වශයෙන් සලකන දේ මායාවක් පමණි. සතුට හා සමෘද්ධිය මධ්‍යයේ මිනිස් ජීවිතය උරුම කරගෙන ඇති විශ්ව ව්‍යාප්ත දුක ‍හේ ප්‍රත්‍යක්ෂ කර ගත්තේ ය.

මේ ලෝකයේ සතුට කරා එළඹීමට මිනිසා කොතරම් වෙර දැරූව ද හැම ප්‍රාණයකු වෙතම දුක එළම සිටී. ලෞකික සැප සම්පත් සොයා යාම පිළිකෙව් කළ හේ චාම් තවුස් ඇඳුමෙන් සැරසී හුදෙකලාවට මුදල් කිසිත් නොමැතිව නිවසේ සිට නිවෙස් රහිත තැන් කරා සැරිසරමින්, තමාට ළඟාකර ගත හැකිය යි තමාට පෙනී ගිය සතුට සහ සාමය සොයා ගියේය.

ආරම්භයේ දී හේ එවකට සිටි සම්භාව්‍ය ආචාර්යවරුන් කරා ගියේය. තමා අපේක්ෂා කළ දේ ඒ කිසිවකුගෙන් ඉටු නොවීය .එය ස්වෝත්සාහයෙන් ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ඔහු අදිටන් කර ගත්තේ ය. අනතුරුව සාවුරුද්දක් ඒ වෙනුවෙන් දුෂ්කර ක්‍රියා  කළේය. ශරීරයට දුක්දීමෙන් එය සඵල කර ගත නොහැකි බව ඔහුට ඒහිදී සනාථ විය. එසේ වුවද ගවේෂී ආලෝක ධාරාව තමා ආධ්‍යාත්මය කරා යොමු කර ගෙන අවසානයේ දී ඔහු සිය අපේක්ෂාව මුදුන්පත් කර ගත්තේ ය. ඒ ක්‍රි.පූ. 588 වෙසක් මස පුරපසළොස්වක දා ඉන්දියාවේ බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධිය පාමුල දීය.

(බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ සහාය අධ්‍යක්ෂ)

අවසන් යාවත්කාලීන කිරීම 2013 ජූනි 24 වෙනි සදුදා, 07:54
 

කාලගුණය සහ ඍතු

කඳු රහිත පහත් බිම් සහිත ප්‍රදේශවල ඒකාන්තයෙන්ම ඝර්ම කලාපීය දේශගුණයක් පවතී. කොළඹ ප්‍රදේශයෙහි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 ක් වන අතර මීටර් 2000ට ආසන්න උස බිම්වල දී එය සෙල්සියස් අංශක 16 දක්වා පහත වැටේ. මෝසම් වැසි කාලයේදී ද ඇතුළුව දිනපතා සාමාන්‍ය  ලක්ෂණයක් වශයෙන් දීප්තිමක් හිරුඑළිය පවතී. දේශ ගුණික වශයෙන් ගොවිතැනට නුසුදුසු අවාර කාල ශ්‍රී ලංකාවේ නොපවතී. මැයි සිට ජූලි දක්වා කාලය තුළ නිරිතදිග මෝසම් වැසි දිවයිනේ බටහිර දිග දකුණු දිග සහ මධ්‍ය ප්‍රදේශවලට ලැබෙන අතර දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී ඊශාන දිග මෝසම් වැසි උතුරු දිග සහ නැගෙනහිර දිග ප්‍රදේශවලට ලැබේ.

අවසන් යාවත්කාලීන කිරීම 2013 ජූනි 24 වෙනි සදුදා, 07:54
 

ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු

ශ්‍රී ලංකාවේ ජාතික ගීය

වර්ෂ 1940 දී ආනන්ද සමරකෝන් මහතා විසින් රචිත මෙම ගීය 1951 නොවැම්බර් මස 22 දින සිට ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස නම් කරනු ලැබිය

ශ්‍රී ලංකාවේ ජාතික ගීය

 



ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්‍තී පූජා
නමෝ නමෝ මාතා

අප ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

ඔබ වේ අප විද්‍යා
ඔබ මය අප සත්‍යා
ඔබ වේ අප ශක්‍ති
අප හද තුළ භක්‍තී
ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්‍තිය ඔබ වේ

නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්‍ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා
අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය රටේ බහුතර ජාතිය සුලු ජාතීන් සමග ඒකාබද්ධ කිරීමේ උපක්‍රමයක් වශයෙන් රටත් රටේ උරුමයත් නියෝජනය කරයි. ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය වූ කලී ශ්‍රී ලංකාවේ අවසාන රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ නරපතියාණන් භාවිත කළ කොඩියේ ම වැඩිදියුණු කර ගත් ස්වරූපයකි. එම රාජකීය කොඩිය මධ්‍යයෙහි ඉදිරිපස දකුණු පැත්තේ පයින් කඩුවක් දරාගෙන සිටි රාජකීය සිංහ රූපයක් වූ අතර චාම් බෝඩරයක් මත සිවු කොණේ එක් එක් කොණෙහි බෝ කොළයක් බැගින් විය.
ශ්‍රී ලංකාව 1948, පෙබරවාරි 04 වැනි දින තම නිදහස මහා බ්‍රිතාන්‍යයෙන් ලබා ගත් අවස්ථාවේ නැවතත් ඔසොවන ලද්දේ අවසන් ශ්‍රී ලංකා රජ භාවිතා කළ එකී සිංහ කොඩිය වේ. නිදහස් ලංකාවේ ම අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා නව ජාතික කොඩියක් සැලසුම් කිරීම පිළිබඳ ව රජයට උපදෙස් දීම සඳහා කමිටුවක් පත් කළේය. 1950 පෙබරවාරියේදී එම කමිටුව අනුමත කළ සැලැස්මෙහි කඩුව අතින් ගත් සිංහ සංකේතයක් බෝ කොළත් ඒ අයුරින්ම රඳවා කොළ පාට සහ කහ පාට සිරස් තීරු දෙකක් අලුතෙන් එකතු කෙරිණි.

ජාතික කොඩියේ එක් එක් සංකේතයේ සු‍විශේෂත්වය පහත සඳහන් පරිදි වේ.

  • කොඩියේ සිංහයාගෙන් සිංහල ජාතිය නියෝජනය වෙයි.
  • සිංහයාගේ කඩුවෙන් රටේ ස්වෛරිත්වය නියෝජනය වේ.
  • සිංහ හිසේ රැළි සහිත කේශරවලින් ආගමික වත් පිළිවෙත්, ප්‍රඥාව සහ අධිෂ්ඨානය නිරූපනය වේ.
  • සිංහයාගේ රැවුලෙන් වචනවල පවිත්‍රතාව දක්වයි.
  • කඩුවේ මිට නිරූපනය කරන්නේ ආපෝ, තේජෝ, වායෝ, පාඨවි යන සතර මහා භූතයන් ය.
  • නැහැයෙන් බුද්ධිය දැක්වේ.
  • ඉදිරි දෙපා ධනය පරිභෝජනය කිරීමේ පවිත්‍රතාව කියා පායි.
  • කහපාට සිරස් තීරුවෙන් සුලු දෙමළ ජනතාවද, කොළ පාට සිරස් තීරුවෙන් සුලු මුස්ලිම් ජනතාව ද නියෝජනය වේ.
  • කරුණා, මෙත්තා, මුදිතා සහ උපේක්ඛා යන සතර බඹවිහරණ ද කොඩියෙන් නිරූපණය වේ.
  • කොඩිය වටා ඇති කහපාට තීරුව අනෙකුත් සුලු ජාතීන් නිරූපණය කරයි.
  • කොඩියේ සිවු කොණේ ඇති සිවු බෝ පත් වලින් බුදු දහම සහ එයින් ජාතිය ලත් ආභාසය නිරූපණය කරයි. බෝපත් වලින් කරුණා, මෙත්තා, මුදිතා සහ උපේක්ඛා නම් වූ සිවු බඹ විහරණ ද නිරූපණය වේ.
  • කොඩියේ මෙරූන් පාට කොට‍සින් අනෙකුත් සුලු ආගම් සංකේතවත් කරයි.

මෙම ජාතික කොඩිය ප්‍රථම වරට 1950 මාර්තු මස 03 වැනි දින ඔසවන ලදී.

 

ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය

“Mesua Nagassarium” යන උද්භිත නාමයෙන් හැඳින්වෙන නා ගස ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස 1986 පෙබරවාරී 26 වැනි දින ප්‍රකාශයට පත් කෙරිනි.
ජාතික වෘක්ෂය ලෙස නා ගස තෝරා ගැනීමට කරුණු කිහිපයක් බලපා ඇත.
  • ශ්‍රී ලංකාවට ආවේණික වෘක්ෂයක් වීම.
  • ශාඛයේ ප්‍රයෝජනවත් බව.
  • ඓතිහාසික සහ සංස්කෘතික වැදගත්කම.
  • බාහිර ස්වරූපය.
  • පුළුල් ව්‍යාප්තිය.
  • පැහැය සහ ස්වභාවය.
  • පහසුවෙන් ඇඳීමේ සහ දළ රූප ඇඳීමේ හැකියාව.

වැසි වනාන්තර වල වැඩෙන මෙම ශාඛය උසින් මීටර 30 ක් පමණ වන අතර ලංකාවේ තෙත් කලාපයට ආවේණික වේ. නා දළු රත් පැහැ වන අතර පරිණත වන විට කොළ වර්ණය ගනී. නා ගසේ දැව ඉතා තද ගතියෙන් යුක්තය, කල් පවතී. එම නිසා ඈත අතීතයේ දී පාලම් සෑදීමට ගනු ලැබී ය. ආගමික වටිනාකමින් යුක්ත වන බැවින් වර්තමානයේ දී දැව සදහා භාවිතා නොකරනු ලබයි. නා මල ආයුර්වේද ඖෂධ, සුවඳ විලවුන් සහ සබන් නිපදවීම‍ට ගනී.

ඓතිහාසික වශයෙන් බුදුන් ප්‍රථමවරට ශ්‍රී ලංකාවට වැඩි අවස්ථාවේ දී මහියංගනයේ නා ගස් විමනකට පැමිණි බව දැක්වේ. ඇතැම් අය විශ්වාස කරන්නේ මෛත්‍රී බුදුන් නා ගස් යට‍ බුදු බව ලබන බව ය.

ශ්‍රී ලංකා ජාතික පුෂ්පය

“Nympheae Stellata” යන උද්භිද නාමයෙන් හැඳින්වෙන නිල් මහනෙල් මල ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වශයෙන් 1986 පෙබරවාරි 26 වැනි දින ප්‍රකාශයට පත් කෙරිනි.

 

 

 

 

 

ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා

ශ්‍රී ලංකාවට ආවේණික වූ ද බිම හැසිරෙන ඉතා විසිතුරු වූ ද වලි කුකුළා ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා වේ. මේ පක්ෂියා ශ්‍රී ලංකාවේ වනාන්තර වල ද ඝන ලදු කැලෑවල ද බහුලව දක්නට ලැබේ. රාත්‍රී කාලයේ උස ගස්වල ලැගුම් ගනී. බියට පත් වූ විට ගස්වල ඉහළ අතුවලට පියාඹා යයි. බිම සැඟවුණු ස්ථානවල හෝ ගස්වල අතුපතර මත ලැගුම් ගෙ සිටී. සිංහරාජ වනය ශ්‍රී ලංකා වලි කුකුළා නැරඹීමට ඉතා හොඳ භූමි භාගයකි.

අවසන් යාවත්කාලීන කිරීම 2013 ජූනි 24 වෙනි සදුදා, 07:54
 

 
Submit to FacebookSubmit to Google BookmarksSubmit to TwitterSubmit to LinkedIn